ඔබ කිසියම් දවසක සිතා තිබේද සාගරය කෙතරම් දේවල් ඔබේ දෑසට සඟවා තබාගෙන සිටිනවාද කියා? ලංකාවේ මතුපිටින් බැලූවිට නොපෙනන, හඹා ගොස් පමණක් සොයාගැනීමට හැකිවන රහස් ගොන්නක් සාගර පතුලේ සඟවා ගත් තවත් එක් ගවේෂණයකට ඔබව කැඳවාගෙන යාමටයි මේ සූදානම.
මේ කතාව පටන් ගන්නෙ 1892 දී ඉංග්‍රීසි නැව් සමාගමක් වන ස්ටොක්ටොන් (Stocktonne) සමාගම විසින් ටොන් 3,555ක තෙල් ටැංකියක් සහිතව 'කොන්ච්' (Conch) නම් නෞකාව ඉදිකිරීමෙනුයි. මේ කොන්ච් කියන නෞකාව ලෝකයේ ඕනෑම සාගරයක් තරණය කිරීමට සුදුසු මට්ටමින් ශක්තිමත්ව ඉදිකරන ලද්දක්. නමුත් 1903 ජූනි 3 වෙනිදා, සියලු ලෝ වැසියන්ට මෙන්ම නෞකාවටද නව දවසක් උදා වීමත් සමඟ නැව සුපුරුදු ලෙස දෛනික ක්‍රියාවලියේ නිරතව සිටියා. නැව නොවොරොසිස්ක් (Novorossiysk) සිට මදුරාසිය දක්වා මුහුදු ගමනක යෙදී සිටියේ තෙල් ප්‍රවාහනය කරමිනුයි. එහෙත් එය ලංකාවේ හික්කඩුව වෙරළට ළං වන විට නොසිතූ දෙයක් සිදුවුණා. එය සුප්‍රකට අකුරල ගල්පරයේ කොටසක් වන, පාර්සි පර්වතය ලෙසද හැඳින්වෙන, Akarta ගල්පරයේ ගැටුණා. ඒ ක්ෂණයකින් නෞකාව විනාශ වී දියබත් වෙන්න පටන් ගත්තා. නෞකාවේ තෙල් කාන්දු වෙමින් ටිකින් ටික මුහුද නෞකාව ගිල ගත්තේ දිය මතුපිට එවන් නෞකාවක් ගමන් ගත් බවක සේයාවක්වත් ඉතිරි නොකරමිනුයි. ඒ අනුව නැව මුහුද යට ගිලී මුහුදු පතුලේ තැම්පත් වුණා. එය සියවසකට වැඩි කාලයක් තිස්සේ එලෙස මුහුදු පතුල ප්‍රථම වරට සිපගත් අයුරින්ම පැවතියද මේ වනවිට එය දහස් සංඛ්‍යාත මුහුදු ජීවීන්ට, මුහුදු පැළෑටි වලට නිජබිමක් වෙලා තියෙනවා.
Conch නෞකාව නැරඹීම සඳහා දිය යට කිමිදීම ඉතා පහසු කටයුත්තක් නොවේ. ඔබ සුන්බුන් අසලට පිහිනන විට, නෞකාවේ දළ සැකැස්ම අදටත් දැකබලා ගත හැකි ආකාරයට ඉතිරිව ඇති අතර ඒ මත සාගර ජීවීන්ගෙන් පැවැත්ම හා එය වැසී යන ආකාරයට පැතිර ඇති සාගර පැළෑටි දැක ගත හැකියි. ඔබ ඒ අසලටම ගොස් බලන්නේ නම්, නෞකාවේ අභ්‍යන්තරයේ සිට විවිධ මසුන් ඇතුලට සහ පිටතට පිහිනා යන ආකාරයත්, කකුළුවන් පැරණි තෙල් බැරල් අතරින් ගමන් කරන ආකාරයත් සියැසින් දැක ගැනීමට හැකි වන බව සිකුරුයි. එමෙන්ම විචිත්‍රවත් වර්ණයෙන් යුතු කොරල්පර දැන් නැව තම නිවස කොට ගෙන නැවට හිමිකම් කියයි. නෞකාව දැන් සොබාදහමේ කොටසක් ලෙස පවතින නමුත් එය මුහුදුබත් වීමට ප්‍රථමයෙන් තෙල් ප්‍රවාහන නෞකාවක්ව පැවති බව අපට අමතක කල නොහැක.
කොන්ච් වටා කිමිදීම අපූරු අත්දැකීමකි. නමුත් ඔබ දක්ෂ කිමිදුම්කරුවෙක් නම්, ඔබට වඩාත් ත්‍රාස්‍යජනක ක්‍රියාවලියක යෙදීමට අවශ්‍ය නම්, ඔබට නෞකාවේ සුන්බුන් තුලට ඇතුළු විය හැකිය. ඒ අනුව එක් කලෙකදි මිනිස් ජීවයක් සහිත වූ, දෛනික ක්‍රියාකාරකම් රැසක් සිදු වූ නෞකාවක වර්තමානය තත්වය සියැසින් දැක බලා ගැනීමට එයින් ඔබට අවස්ථාව ලැබේ. එහිදී ඔබට ඇසෙන්නේ ඔබේ හුස්ම ගැනීමේ හඬ සහ නැවේ සුන්බුන් එහා මෙහා වන විට ඇති වන මෘදු ශබ්දය පමණි. ඒ හැරුණු විට එහි ඇතුළත නිහඬබව ඔබට විඳ ගත හැක. ඔබ පටු, කළුවර ස්ථාන කෙරෙහි බියක් දක්වන්නේ නම් ඔබ මෙම අත්දැකීම ලැබීමට සුදුසු නොවේ. මෙහි ඇතුලත අවකාශය තද, සහ පටු බවින් යුක්ත වේ. මෙහිදී ඔබට ඔබේ දර්ශනය අපැහැදිලි වීමට හේතු වන රොන්මඩ නැති නමුත් සෑම විටම සුන්බුන් වල පැටලීමේ අවදානමක් ඇත. මෙය එක්තරා ආකාරයකින් ත්‍රාස්‍යජනක වන නමුත් එය මුහුද යට ගිලී ගිය ලෝකයක් සොයාගැනීමේ ත්‍රාසජනක ක්‍රියාන්විතයේ කොටසක් නොවේද? ඔබ කිසිදාක සිතා තිබේද ඔබ ජීවත් වන රට වටේ පවතින මුහුදේ ජීවත් වන සමුද්‍ර ජීවීන් ජීවමාන බව? එමෙන්ම මෙලෙස මුහුදුබත් වන නැව් එම සමුද්‍ර ජීවීන්ට නිජබිම් සපයන බව?
මෙම නෞකා ගවේෂණය අවසන් කර ඔබ නැවත වරක් දිය මතුපිටට පැමිණිය විට, කොන්ච් නෞකාවේ කතාව කාලය විසින් ගිල දැමූ නෞකාවක් ලෙස ඔබේ මතකයේ සටහන් වනු ඇත. නමුත් එය තවමත් මුහුදු රළ යට ජීවමානව, තවත් කුතුහලයෙන් හා නිර්භීත බවින් යුතු ඔබ වැනිම කිමිදුම්කරුවෙකු එහි ගැඹුරට ගොස් ගවේෂණයේ යෙදෙන තෙක් බලා සිටී.